Monday, July 16, 2012

විඩාබර ලිපිය


                                            යාන්තමින් "කළමනාකරණය යනු කුමක්ද "යන්නෙහි සිරවී සිටි ,මා කෙසේ හෝ අර ඇද මානව සම්පත දක්වා හමාර කර ගත්තේ දින පහක ප්‍රයත්නයකිනි.එය හිතට මහත් වූ  සැනසීමකි.මක්ද විභාගයේදී මුණ ගැසෙන පළමු විෂය ද එයම  වන බැවිනි .මා මේ හුදු භූමිකාවට කිසි සේත් එකඟ නැත්තෙමි ,එය ශිෂය්‍යන් හට මහත් වූ මානසික පීඩාවකි.නමුදු එයින් මිදීමේ මාර්ගයක්ද  නොපෙනෙන්නා සේය .ලොව ඇති බොහෝ දේ වෙනස් කිරීමට නොහැකිය.ඒ මගේ පුද්ගලික  අදහසයි.එවිට ඔබ තර්ක කරන්නේ නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය ගමන ගැන කියාය.මා විශ්වාස කරනා ලෙස එය ඇමරිකාවේ තවත් ඇස් බැන්දුමකි.චන්ද්‍රයාට  වායු ගෝලයක් නැත .එබැවින් සඳ මත පතිත කරනා ඇමරිකාවේ ධජය සෙලවෙන්නට කිසි සේත් නොහැක.


පෑල දිග අහසින් හිරු මුදුන්වත්ම නගරය වෙත යාම සඳහා පුද්ගලික බස් රථයකට ගොඩ වූයේ ජීවිතයත් මරණයත් අතර සටනකිනි .ඒ තරම් රියැදුරුවරයාට තිබුනේ හදිස්සියමය .බස් රථය ටියුෂන් යන ළමයින්ගෙන පිරී ඇත්තේය.වයි වාරණ ඇදුම ආයිත්තම් අතර චීන ජාතික දුරකථනය කනෙහි රුවා අමතන්නේ උජාරුවෙනි ..අත කර සුකුරුත්තම් බඳු සැරසිලිය.
"මෙවලම් මොකටද මෙතරම් පැළදුවේ සමනලියේ " :)
ඔවුන් හා සසදන කල මා සිටින්නේ ප්‍රාථමික මට්ටමිනි ..විලාසිතාවකට ඇත්තේ දකුණතෙහි ඇති දම් පැහැයට හුරුවූ නූල් කැබැල්ලකි.එයද කාලයාගේ ඇවෑමෙන් අව පැහැ ගැන්වී ඇත.
     මඳක් දුරදි ගොඩ වූයේ යන්තමින් ඔසවා ගැනීමට හැකිවූ තම දරුවාද රැගත්  මාතාවකි .මා හට ඇයව හඳුනාගැනීමට එතරම් කාලය වැය වූයේ නැත ,ඈ මාගේ  නැගණියගේ වයසේ පසුවන්නියකි.ජීවිතේ අපූරුව..ආසනයේ හිඳ සිටි මා අසුන පරිත්‍යාග කලේ හය හතර නොතේරෙන පොඩි එකී මේවාට පලි නැති නිසාය..වැරැද්ද නිවැරැද්ද සෙවීමටද කිසි සේත් මට උවමනාවක් නොවීය.මක්ද වැරදි පෙන්වා මා ඉගෙන ගත් පාඩම් එමට වීම ය. අනික මට එය අදාළ ද නැත.
  මා හට පහසුවෙන් දෙයක් අත් පත් කර ගත නොහැකිය,එයට තවත් උදාහරණයක්‌ වෙමින් නගරයට ආ කාරණාව වූ ගුරු අභ්‍යාසය මුද්‍රණය කිරීමට පැය පහක කැපකිරීමක් කිරීමට සිදු විය.සාමාන්‍යයෙන් මා වැඩි වේලාවක් එකම ස්ථානයක රැඳී සිටීමට අකමැති චරිතයකි.එය ජනාකීර්ණ වූ කල වැඩියෙන් දැනෙන්නකි.බස් රථයෙහි පවා සිතන්නට බොහෝ දේ මට ඇත්තේය.කඩ පිලක්,වෙල් යායක්,පැල් පතක් දකින කල කල්පනා වන්නේ ම ඔවුන්ගේ යැපුම් ආර්ථිකය පිළිබදවය..එය චිත්‍ර පටයක් බලන කල තාක්ෂණය දෙසට ද, ගුරුවරයෙකු  දැනුම දෙන කල ඔහුගේ දැනුම කොපමණද යන්න දෙසටද යොමුවන්නේය.ඇතැම් විට මා සිතන්නේ ගුරුවරයාට ඉක්මවූ දැනුමක් හෝ සමාන්තර දැනුමක් මා සතු වී ඇත කියාය,එය මාගේ හාස්‍ය මුසු දුර්වලතාවයකි.තවද උදාහරණයකට ඇතැමෙක් මා සමඟ ලෝකය ගෝලාකාර යැයි තර්ක කළහොත් එය බිඳ හෙලීමට තරම් හැකියාවක් මට ඇත්තේය,මා තර්ක කිරීමට උපතින්ම ලොල් වූවෙකි.
පත්තරය ,පොත මාගේ ජිවිතයට බොහෝ ළඟය ,හොඳම උදාහරණය සපයන්නේ අපේ අම්මාය,ඈ කියනායුරින් හය හතර නොතේරෙන බාල කාලයේද මා ඉල්ලා ඇත්තේ පත්තර ය..සාමාන්‍යයෙන් මා කියවන්නේ අග සිට මුලටය , 
"අහවල් මුද්‍රණාලය මගින් ප්‍රසිද්ධ කරන ලදී "යන්නටම කියවීම පුරුද්දය.
 මාගේ ජිවිතයට වැඩියෙන්ම සමීප අපේ අත්තම්මාය.සරසවියෙන් යලි එනකම් ලෑලි  බංකුවේ තනි රකින,බත් කටක් වුව කවා,පුතේ කියා අමතන්නේ ඕතොමෝය,අම්මාට හා තාත්තට එසේ කිරීමට කාලයක් නැත්තේමය.පිලිගනිමි.එනමුදු අත්තම්මගේ ආදරය විටෙක මහත් කරදයකි,එකල්හි මා ද පොර කුකුල් කාරියකි,නමුදු පසුව ඇති වන්නේ පසුතැවිල්ල මුසු වේදනාවක් පමණි..
ඇමරිකා ,කැනඩා සිහින අතර මා හට මේ ලොව සිත් ගන්නාම ස්ථානය මාගේ පාසලය.හිතුවක්කාර පන්හිඳ හැඩ වන්නේද ඕතොමෝ ගේ පින්බර වර්ණයන් දෙකෙන්ය,එය මට ආඩම්බරයකි.."කඳුරට පුංචි සරසවිය "නම් විරුදාවලිය  පට බැඳී ඇති ඒ පින් බිමට සුදුසුම ආමන්ත්‍රණය එය බව අද දින දැනෙන්නේ වැඩ්පුරය.
නමුදු මා කිසි දින එම සාඩම්බර මඩුලු මාතාවගේ සාඩම්බර දියණියක් නොවුවෙමි..සහතිකය 
   පන්ති ප්‍රවීණතා,ක්‍රීඩා,දැනුම මිනුම ආදි වේදිකා  රංග තුල කුසලතා  පෑවද අධ්‍යයන කටයුතු කෙරෙහි දැක් වූ උනන්දුව අල්පය .වෙසෙසින් ගිණුම්කරණය විෂයට බොහෝ අකමැති වීම තුල මා හා යහළුවා පන්ති කාමරයෙන් බැහැර වන්නේද   ගුරු අවසර මතමය.අකමැති යමකට කාලය යෙදවීම බෙහෙවින් අරුත්සුන්ය.අන් අතට බැහැරවීම වනාහි  අන් අයට කරනා උපකාරයක් සේ මට හැඟෙන්නේය.බොහෝ දෙන ගැවසෙන දැනුම් භාණ්ඩාගාරයක් වන් පුස්තකාලයේ රැදීමට ට වුව මා එතරම් ප්‍රියක් නැත,මක්ද එක් තැන්වී කරනා අධ්‍යනය වෙහෙසකරය.සරසවි දිවියටද එය වලංගුය.පුස්තකාල කුපනය මේ මොහොතේ වුව හිස්ය,ලැමිනේටිනයක් කළා නම් හොඳ බව යහළුවෙකුට වරක් මා කිවේ විහිලුවටම නොවේය...නමුදු මා තරම් හොඳ  ළමයෙකු පාසලේ සිටියේද යන්න සැක සහිතය.අන් අය පහත  හෙලීමට  අකමැති නමුදු එය මාගේ යටි සිතේ අවංක පාපොච්චාරණයයි.එයට දඩුවම් විදීමද නිතැතින්ම ඇතුලත්ය.විශේෂයෙන් ඒ මාගේ යහළුවන් නිසාය.දුක් ගන්නා රාල,කඩේ යාම,කට්ටි පැනීම ආදී අවශේෂ චරිතද රඟ දැක්වුවේ උන්ගේම සතුටටය .එතුල අප්‍රමාණ පාඩු ද සිදුවී නැත්තේම නොවේ.එයද දැනුනේ අපේ දුප්පත් පවුලටමය.නමුදු උන් කෙරේ අහිතක් අද ද මට නැත.
පාසලේ හයේ පන්තියේ සිට උසස් පෙළ පන්තිය දක්වා මා ගියේ පාසල් වෑන් රථයකය,ඒ විගහනින් ගෙදර ඒම අරභයාය .එහි තිබූ සුඛෝපභෝගිත්වය පසු කාලයේ දැනුනේ සමාජ ඝට්ටනය නම් විශයෙන් මා තල්ලු කර  ඇති බවක්ය.
පිරිමියකු හට එක එල්ලේ පිළිතුරු දිය නොහැකි භාවය,සමාජ ඇසුර,ආදරය,සාමුහිකත්වය ආදී කාරණාවලින් සමහරක් අදද මට අළුත්ය.
පාසලේ සොයුරියන් දකින කල මා තුල ඇත්තේ ඉරිසියාවකි,ඒ මට අයිතිව තිබූ එකී අපුරූ භූමිකාව ඔවුන් අහිමි කිරීම නිසා මිස වෙන කිසිවක් නැත්තේමය.
අහිමි තුල වටිනාකම ඉහල යාම  ලෝක සත්‍ය වීම සැබෑවක්ය..
සරසවියේ ජිවිතයට මා තුල ඇත්තේ අකමැත්ත මුසු කැමැත්තකි ..ආවොත් යන්න බැරි ගියොත් එන්න බැරි "මල වුන්ගේ අවුරුදු දා "සේ බොහෝ විට එය දිස්වන්නකි.මා කිසිසේත් සරසවි මාතාවටදොස් නොකියමි,කතාවට කියනා ලෙස ජාතියේ ඉදිරිගමනේ පෙර ගමන් කරුවන් වන්නේ බුද්ධ්මතුන්ය ..එම උපකල්පනය මත පදනම් වූ කල එකී බුද්ධිමතුන්ගේ තිඹිරි ගෙය වන්නේ ද ආදරණිය සරසවියමය.
හිතුවක්කාරව මෙවන් දේ කිව්වද හෙට දවසේ මට ඇත්තේ හා පුරා ගා කුළුඳුලේ ලියනා සරසවි විභාගයක්ය.එනමුදු ආරංචි මාර්ග කියනායුරින් වර්ජනය අඛණ්ඩය ..
"ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවේ"යැයි කීවට අද නම් එය බොරුවක් කලේ මාගේ පැය 10 ක නින්දය..
නැතිනම් මා මේ වන විට  කැකිරාව වත් පහු කරනවා සහතිකය..
මොනවා කීවද මේ දවස් වල මාගේ හිතට වද  දෙන කාරණයක් හේතුවෙන් මේ ගීතයද ලියැවෙන්නේ නිරායාසයෙනි.
ඒ මාගේ අහිමි සියළු යාළුවන්ට ය.ඒ උපහාරයකටය...

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී ...

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජිවන මහ මඟ සටන් වැදී ඇත
නාදුනනා පෙම් වතුන් වෙලා
මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී ...
               
දැන හඳුනාගත් කාලේ ඉඳලා
ලබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා
මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්    
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ ...

14 comments:

  1. හ්ම්ම්....හරි ලස්සනට වචන ටිකනම් ගලපලා තියනවා..ඇත්තම කිව්වොත් හිතුවක්කාරියේ..මටත් සරසවිය ගැන තියෙන්නේ ඔහොම හැගීමක් තමයි...අනිත් එක ඔය අන්තිමට තියෙන සින්දුව තනියම ඇහුවොත් එහෙම මට කඳුළු එනවා!සත්තයි!

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඇත්ත අයියා ඒ සින්දුව මාරයි :)

      Delete
  2. 1)දන්නවද මේ ලිපිය කොච්චර අපූරුවට ලියවිලාද කියලා..?? මෙය කියවන අතර තුරේ ඔබ දැනුමෙන් බොහෝ පරිපුර්ණ අයෙකු සේ මට හැඟී ගියා ..අපි ඕනෑම විටක කියවන ලිපියක බැඳී අක්‍ෂර මධ්‍යයේ ලේඛකයා ජීවමානව දර්ශනය වෙනවා..ඇත්තෙන්ම හරිම අගෙයි ඔබේ ලිවීමේ ශයිලිය..

    2) අතේ බැඳී නූල එක වරක් සබන් ගා සෝදා හරින්න..හි..හී..

    3) සරසවි,යේ ජිවිතයට මා තුල ඇත්තේ අකමැත්ත මුසු කැමැත්තකි ..ආවොත් යන්න බැරි ගියොත් එන්න බැරි "මල වුන්ගේ අවුරුදුදා "සේ බොහෝ විට එය දිස්වන්නකි.. මේ ටික මාරයි! :)

    ReplyDelete
    Replies
    1. "..අපි ඕනෑම විටක කියවන ලිපියක බැඳී අක්‍ෂර මධ්‍යයේ ලේඛකයා ජීවමානව දර්ශනය වෙනවා"අම්මෝ මම නම් දන්නෑ ඕවා ..ස්තුතියි කමෙන්ටුවට :) නුල නම් ගලවන්න කාලේ හරි වගේ :(

      Delete
  3. "අහිමි තුල වටිනාකම ඉහල යාම ලෝක සත්‍ය වීම සැබෑවක්ය.."

    ඇත්ත , හිතුවක්කාරී...අගයක් ඇති වන්නේ තිබුණු දෙයක් නැති වුණාමයි, එත් අපි කොහොමවත් අගේ ඇති දෙයක් අපේ අත් මිටින් ගිලිහෙන්න දිය යුතුද...මේ හැම දෙයක්ම පුංචි අත් මිටකින් රැකගෙන ඉන්න ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා...

    අදටත් ඇමෙරිකානුවන්ගෙන් 50% ක් ඔවුන් හදමතට යාම හුදෙක් කල්පිතයක් පමණක්මයි කියා විශ්වාස කරනවා, ඉතින් පහල ලිපිය වෙලා තිබුනොත් ඔයාලටම වැටහෙයි... එත් කොඩිය ලෙළදීම නම් වාතය නොමැති තැනක වුවත් අහබු ලෙස චලිතවන අංශුන් වලට පහසුවෙන් කල හැකි දෙයක්...
    http://en.wikipedia.org/wiki/Moon_landing_conspiracy_theories

    මේ පිටුව ඔයා තුල තිබෙන දැනුමෙන් බොහෝ දෑ කැටි කරගත් සංකල්පනා පිරි සිතුවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු ..ගොඩක් වටිනවා ඒ ලින්ක් එකත් :)

      Delete
  4. ලෝකය ගැන පුළුල්ව හිතන්න හොඳ දැනුමක් ඕන.ඒ අතින් ඔයාට හොඳ දැනුමක් තියෙනවා!

    ReplyDelete
  5. අම්මෝ මම එච්චර පණ්ඩිත නැතෝ :) තව කොච්චර තියනවද ඉගෙනගන්න :)

    ReplyDelete
  6. great pce f writting

    ReplyDelete
  7. ස්තුතියි අයියා :)

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music