Thursday, June 19, 2014

සරසවි කුරුටු ගී






                      කුරුටු ගී කියද්දී එකපාරටම මතක් වෙන්නේ සීගිරි කුරුටු ගී වුනාට බස් එකේ,ඩෙස් පුටුවල,ගහක ගලක නැත්තං ඡන්දේ කාලෙට මහා පාරේ හරි මේ කිව්ව එකී නොකී හැම තැනම අපිට කුරුටු ගී හෝ කුරුටු බලි අපිට බලාගන්න පුළුවන් නේද?ඉතින් මාතෘකාව කුරුටු ගී හින්ද මුලින්ම මොනවටද කුරුටු ගී කියන්නේ කියලා බලමුකෝ..

                   කුරුටු ගීත වල ආරම්භය කවදා කොහෙදිද කියල නිශ්චිත සඳහනක් නැති හින්ද ශ්‍රී ලංකාවේ නම් ක්‍රි.ව.08,09,10 කියන ශත වර්ෂ වලට ඒ කියන්නේ සිගිරි ඉතිහාසයට දිව යනවා කියන්න තරම් කරුණු හෙළි කරගන්න පුළුවන්.ඒ වගේම විශ්ව විද්‍යාල ආරම්භයත් එක්ක ඒකත් ආරම්භ වුනා කියන්නත් පුළුවන්.මේ පිලිබඳ විධිමත් අධ්‍යනයක් කරපු බවක් නම් පේන්න නැති හින්ද වැඩි විස්තරයක් හොයන්න මටත් බැරි උනා.මේ මං හොයාගත්ත ඇබින්ද ලියල දානවා.

                                           කුරුටු ගී කියන්නේ තමන්ගේම අදහස කැමති විදිහට කොහේ හෝ පැන්සලක්,පෑනක්,අඟුරු කෑල්ලක් හරි  හුණු කූරක් හරි යොදාගෙන අර්ථයක් ඇතුවා හෝ නැතුවා හෝ ගීතමය ආකාරයකින් ලියා තැබීමක්.ඔයා කැම්පස් ගිහින් හෝ යන කෙනෙක් නම් පොඩ්ඩක් හොස්ටල් එකේ බිත්ති වල,වැසිකිලියේ,කැන්ටිමේ,ලෙක්චර් හෝල් එකේ,නැත්තං වෙන පොදු තැනක මේවා නොදකින්න විදිහක් නෑ.ගොඩක් වෙලාවට මේවා ලියවෙන්නේ එදිනෙදා කැම්පස් ජිවිතේ ලැබෙන හා  ලබන මිහිරි හෝ අමිහිරි අත්දැකීම් වලින්.ඒ කිව්වේ ආදරය,සමාජ යථාර්තය,දේශපාලනය,මව් ගුණ,ආචාර්ය මණ්ඩලය,සරසවිය,සමාජ අසාධාරණය,විරැකියාව,විරහව,ඉගෙනුම් ක්‍රියාවලිය,කෑම බිම,නවක වදය වගේ මාතෘකා වලින්.සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට පහසු හා අපහසු කියල මේ කුරුටු ගී කොටස් කරන්න පුළුවන්.ඒ කැම්පස් එකට ආවේනික වෙච්ච වචන හා අදහස් අනුව හැදිච්ච උපසංස්කෘතිය හින්ද.ඒකත් කැම්පස් එකකින් කැම්පස් එකකටත් සුළුවෙන් හෝ වෙනස් වෙනවා.උදාහරනෙකට පනාව,කරත්තය,ගැල්කාරයා,කිච වෙනවා,ඝට,ත්‍රිල වගේ වචන විශ්ව විද්‍යාල පද්ධතියෙන්ම බිහිවුණා කියල කියන්න පුළුවන්.පුවත් පතක,ගුවන් විදුලි වැඩසටහනක,සඟරාවක,ග්‍රන්ථයක වගේ දේකින් කියාගන්නබැරි දේවල් බිත්තියක,මේසෙක,පුටුවක,ලියා තියන අහිංසක කලාකරුවෝ කණ්ඩායමක් විදිහටත් කුරුටු ගී රචකයෝ හඳුන්වන්න පුළුවන්.


                   වාද විවාද කරගන්න කුරුටු ගීත විශේෂයකුත් මේ අතර වෙනවා.බොහෝ විට පුස්තකාලයේ හෝ කියවීම් ශාලාවක් තුලින් මේවා බිහිවෙනවා.කෙනෙක් ලියු අදහසක් තවත් කෙනෙක් පිළිතුරක් විදිහට ලියා යාමයි මේකෙන් සිදුවෙන්නේ.ඒ වගේම සිව් පද රටාව,දෙපද රටාවට ලියවෙච්ච කුරුටු ගීතත් තියනවා.සමහරවිට සම්මත නීති රීති රටාවට වහල් නොවී නිසදැස් ආර වගේ වෙනත් කෝණයන්ගෙන් මේ ගීත ලියවෙනවා.ඇතැම් විට ඒවා සාහිත්‍යමය නොවී ගතානුගතික වීමක්ද දකින්න පුළුවන්.කොහොම වුනත් කුරුටු ගී කිසියම් ප්‍රතිභාපුර්ණ වටිනාකමක් කලාවට එකතු කරනවා.කුරුටු ගී වලට ප්‍රසිද්ධියක් උසුලන විශ්ව විද්‍යාල අතර ජපුර,පේරාදෙණිය,කැලණිය,කොළඹ,හා රුහුණ හඳුන්වන්න පුළුවන්.මේ තියෙන්නේ එයිනුත් කිහිපයක් පමණයි.



ආදරය පිලිබඳ

ශිල්ප කබලෙන්
ලිපට වැටුණි
ඇය මගෙන්
වෙන්වූ දිනේ

සයිකෝ ගසා මා ගිය කල ඇය වෙතට
දුන්නා බූට් එක ගලවා මගේ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මා අතට

සිරිපාලගේ දේශනාව
අපිට හරිම වේදනාව
කිමද ඊට කාරණාව
මාජී ගැනයි කල්පනාව

සිව් විසි පැයම සිහිවෙනවා ඔබගෙ වත
කය මෙහි වුවත් ඇත ඔබ ළඟ මගේ හිත
දෛවය මඟින් ගිලිහුනොතින් ඔබගෙ වත
එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත

දුක පිලිබඳ

සඳුන් ගැටයක් මා අතනම් නෑ රැඳුනේ
පියුම් හතක් පායට නම් නෑ පිපුනේ
මුඩුක්කුවේ සල් ගස නම් නෑ වැඩුනේ
සිද්ධාර්ථ නම පමණයි මට තිබුනේ

කුසගින්න කුසගින්න
කාට කියන්නද
එවූ මුදල ඉවරයි
අම්මේ,අම්මේ!!!

එස් එස් සී විනාශයන්
සම්මනෝ ඇති දුර්ලභන්
රැකියා විරහිතන් දුක්ඛං
බී ඒ ඩිග්රි භයන්කරන්

පාඩමන් අරහං තානං
විභාගන් භයං කරන්
බඩගින්නන් ඉවසපන් බොලං
නින්ද නන් පරමං සුඛං

අනේ සුසානෝ ඉස්සර වාසිටියේ
මේසෙට කෑම ඇරලලු දීලා හිටියේ
අළුතින් හිලක් විදලා ඉනවට පටියේ
බඩ තද කර ගනිං හොඳ හැටි කිටි කිටියේ

අපි ආවේ ඉගෙන ගන්න
අපිට වුනේ නොකා ඉන්න
ණය තියනවා ඉහ පිරෙන්න
අපි යනවා ගෙදර යන්න

දේශපාලනය පිලිබඳ

කන් හිරි වැටෙන ළය පුපුරණ වෙඩි සද්දෙන්
නොසලෙන පිරිස පමණක් අප හා එද්දෙන්
යන්නට දෙපා පණ නැති වුන් නවතිද්දෙන්
ජය බිම කරා අපි යමු පෝරක මැද්දෙන්

තබන තබන වෙඩි ආපිට හැරීයන්
මරණ මරණ මිනියට පණ ලැබීයන්
ගහන ගහන ගැටවල් ටික ලිහීයන්
සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන්

මා මිය ගියත් මේ දෙරණේ අසම සම
රතු මල් පිපේවා පොහොරට රැගෙන ලැම
ලෝකය පිටු දකින දිනයක දිළිඳු කම
නැඟිටිමි ආත්මය සමඟින් එදින මම

බැටන් පොලු කරපිටම දොන්
කඳුළු ගෑස් වෙඩි උණ්ඩ දුන්
කොයිද සගයින් එරං
නැතිය ඉහිලුම කරන තෙක් සුං

ගම පිලිබඳ

නෑවත් වතුර මල යට හිඳ නල වතුර
තාමත් සිතින් කිමිදෙමි ගඟ දිය වතුර
කැම්පස් කැන්ටිමේ බත හරි මිතුර
තාමත් සිහිවෙතිය පෙර කෑ අල බතල

මොහොතකට සුව දෙන
උපාධි කබායේ අප්‍රිය සුවඳට වඩා
පිඩිත පංතියේ වැරහැලිවලින්
නැඟෙන සුවඳ උදාරය

සමාජ යථාර්තය පිලිබඳ

දේශන මොටද මතකයෙ රඳවන්න බැරි
සටහන් මොටද කියවා නිමවන්න බැරි
බුද්ධිය මොටද සත්‍ය ජයගන්න බැරි
ඩිග්‍රිය මොටද රක්ෂාවක් ගන්න බැරි

එකෙකුගේ සැපට තවෙකෙකු ඉරිසියා කොට
අරගල කරනවා මත නැති කිරීමට
ආගම දහම යට වී ඇති පගාවට
මිනිසුන් අපෙ බය නෑ අද අපායට

ගන්නට සිතා සිටියත් අපි ඉහළ අතූ
නැතිනම් පෙර පිනක් ඉටුවෙයි පැතුම් සිතූ
කල පව් නිසා ගිලිහුනොතින් ඉහළ අතූ
ලද හැටියට සැනසුම මයි මෙයින් මතූ

මාතෘ ප්‍රේමය පිලිබඳ

සිහිනෙන් පවා මාගේ සුඛ විහරණය පැතූ
අම්මා දනී නම් මේ සරසවියේ තතූ
වර බොල කොලුවෝ යයි දෙනෙතින් කඳුළු යුතු
ගෙන ගොස් බොහෝ කල් මෙහි දුක් විඳින පුතූ

අවපස ඝණ තිමිර ඉරා
පුර පස සඳ නැඟෙන තුරා
මහ පෝ ගණනක් යන තුරු
මා වෙනුවෙන් වින්ද දුකට
වන්දි ගෙවන්නට හෙට දින
උපාධි ලෝගුව පොරවන්
මං එනතුරු ලොවම දිනා
බලං ඉන්න අම්මේ
ඉදිකඩ ලඟට වෙලා


ඉතිරිය ඊළඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න J

බ්ලොග් එකට අවුරුදු දෙකකුත් වුනෝ 


2 comments:

  1. නිතර දකින අපේ උන්ගේ නාඩි වැටෙන සද්දේ...

    ReplyDelete
  2. රූම් පෙත්ත කැරකෙනවා
    හාප්ෂීට් උඩයනවා
    ලෙක්කෝ අපිට සුරංගනා කතා කියනවා...........

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music